උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයෙන් අල්ලස හා දූෂණය පිටුදැකීමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි - 2026.10.14
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) මඟින් පළාත තුළ අල්ලස හා දූෂණය නතර කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්රචාරක වැඩසටහනක් 2026 ඔක්තෝබර් 14 වන දින ක්රියාත්මක කරන ලදී.
පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ පූර්ණ අනුමැතිය හා සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී, අල්ලස් හෝ දූෂණ ක්රියා සම්බන්ධයෙන් තොරතුරු හා පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආකාරය පිළිබඳ මහජනයා දැනුවත් කෙරිණි.
මේ යටතේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ නිල දුරකථන අංක සහ මාර්ගෝපදේශ ඇතුළත් දැනුවත් කිරීමේ ස්ටිකර්, පළාත තුළ ධාවනය වන මගී බස්රථ, ප්රධාන බස් නැවතුම්පළවල් මෙන්ම මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු ස්ථානවලද ප්රදර්ශනය කිරීමට කටයුතු කරන ලදී. රාජ්ය සේවයේ විනිවිදභාවය තහවුරු කිරීම සහ දූෂණයෙන් තොර කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.











