ජාතික ඵලදායිතා තරඟාවලියේදී උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආයතන 247ක් ඇගයීමට ලක් කෙරේ! - 2026.10.27

ජාතික ඵලදායිතා තරඟාවලියේදී විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන දිනාගත් උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආයතන 247ක් ඇගයීමේ උත්සවය 2026.10.27 දින කිලිනොච්චියේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ගරුආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් 2025/2026 වර්ෂය සඳහා ජාතික ඵලදායිතා තරඟාවලියට අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී, රට පුරා ලියාපදිංචි වූ අයදුම්පත් 6,600කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් 2,800කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණි. මූලික තේරීම්වලින් අනතුරුව, ආයතන 2,056ක් ක්ෂේත්‍ර චාරිකා හරහා සෘජුවම පරීක්ෂාවට ලක් කරන ලදී. මෙම පරීක්ෂණ මත පදනම්ව, ආයතන 1,669ක් සම්මාන සඳහා තෝරා ගන්නා ලදී.

ජාතික මට්ටමින් ආයතන 6ක් රන් සම්මාන සඳහාද, ආයතන 12ක් ප්‍රථම ස්ථානය සඳහාද, ආයතන 99ක් දෙවන ස්ථානය සඳහාද, ආයතන 331ක් තෙවන ස්ථානය සඳහාද සුදුසුකම් ලැබීය. තවද, ආයතන 568ක් විශේෂ කුසලතා සම්මානය (Special Commendation) සඳහාද, ආයතන 653ක් කුසලතා සම්මානය (Commendation) සඳහාද සුදුසුකම් ලැබීය.

මෙම උත්සවය සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්, උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් රංජන් ජයසිංහ මහතා, යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සහ අදාළ ආයතනවල නියෝජිතයන් සහ විදුහල්පතිවරු ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.

Comments are disabled.

si_LKSinhala